ක්‍රිකට් මුල් පුටු වෙනසක් – තිලංගගේ බළකණු ගැලවේ , තිලංග මාෆියාවෙන් ක්‍රිඩාව රැකෙයිද ?

එළැඹෙන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරුවල වෙනස් වීමක් සිදු කිරීමට නියමිත බව වාර්තාවෙයි.සාමාජික සංගම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ මහා සභා රැස්වීමකදීය සිදු කිරීමට නියිමිත මෙය ජනවාරි මස 07 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම විශේෂ මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ලේකම් ධුරය දරන මොහාන් ද සිල්වා මහතා එම තනතුරෙන් ඉවත් කර ඒ වෙනුවට පුරප්පාඩුව පවතින උපසභාපති ධුරය ඔහුට ලබාදී දේශීය ක්‍රිකට් ගොඩනැංවීමට දේශීය ක්‍රිකට් ප්‍රධානී තනතුර පිරිනැමීමට නියමිත බවට අනාවරණය වේ.

මෙම උපසභාපති ධුරයේ මීට පෙර කටයුතු කළේ ජයන්ත ධර්මදාස මහතා වන අතර, වත්මන් පරිපාලනයේ ක්‍රියා පිළිවෙත පිළිබඳව කලකිරී ඔහු ඉල්ලා අස්විය. මේ අනුව මොහාන් ද සිල්වා මහතා උපසභාපති තනතුරට පත් කිරීමත් සමග පුරප්පාඩු වන ලේකම් ධුරයට එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ සමන්ත දොඩන්වල හෝ ගුවන් හමුදාවේ නිලධාරියෙකු වන රොෂාන් බියන්වල පත් කිරීමේ සූදානමක් පවතින බවටද හෙළිවේ.

මේ අතර මෙතෙක් දේශීය ක්‍රිකට් ප්‍රධානී වශයෙන් කටයුතු කරමින් සහ ජාත්‍යන්තර ක්‍රිකට්වල වැඩ බලන ප්‍රධානී වශයෙන් කටයුතු කළ උපසභාපති කේ. මතිවානන් මහතාව ඉදිරියේදී පූර්ණ වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් අංශයේ ප්‍රධානියා වශයෙන් පත් කිරීමට නියමිතය.

මීට අමතරව රවීන් වික්‍රමරත්න දරන උපලේකම් තනතුර සහ ශම්මි සිල්වා දරන භාණ්ඩාගාරික යන තනතුරුද වෙනස් වීමට වැඩි ඉඩක් පවතින බවට හෙළිවේ.

එමෙන්ම මෙම විශේෂ මහා සභා රැස්වීම පවත්වනුයේ තවත් වසර දෙකකින් වත්මන් පරිපාලනය දීර්ඝ කරගැනීමට නොවන බවත්, ලබන වසරේ මැයි මස 31 වැනිදායින් පසුව යළිත් නිලවරණයකින් නව පරිපාලනයක් පත්කරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික (EXCO COMMITTEE MEMBER) ප්‍රියන්ත අල්ගම මහතා තමන් ක්‍රිකට් ආයතනය තුළ දැරූ ක්‍රිකට් විධායක කමිටු සාමාජික ධුරයෙන් ඉදිරියේදී ඉල්ලා අස්වීමට නියමිත බව ‘Cricket LK” වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ ක්‍රියාපටිපාටි පිළිබඳ එතරම් සුබවාදී ආකල්පයක නොමැති ඔහු, විධායක කමිටු සාමාජික ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ කලකිරීමෙන් යුක්තව බවද වාර්තා වෙයි.

ඒ අතර වත්මන් පරිපාලනය ක්‍රිකට්වල මතුව තිබෙන ගැටලුවලට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබැස්මටද ඍජුව සහ ස්ථිරව විසඳුම් ලබාදීමට මෙතෙක් අපොහොසත්ව ඇති හෙයින් එවැනි පරිපාලනයක් හා සම්බන්ධව එකට වැඩ කිරීමට වඩා ඉන් ඉවත්ව සිටීම උචිත හෙයින් ඔහු මෙම තීරණය ගෙන ඇතැයි වැඩිදුරටත් අනාවරණය වේ.

මේ අනුව ඉදිරි දින කිහිපයේදී අල්ගම මහතාගේ ඉල්ලා අස්වීම ක්‍රිකට් බලධාරීන් වෙත යොමු කිරීමට නියමිත බව අපිට වාර්තා වේ. ප්‍රියන්ත අල්ගම මහතාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපතිවරයෙකු වූ ජයන්ත ධර්මදාස මහතාද මේ ආකාරයෙන්ම වත්මන් පරිපාලනයේ ක්‍රියාපටිපාටිය පිළිබඳ කලකිරීමට පත්ව ඉල්ලා අස්විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ වනතෙක් ප්‍රියන්ත අල්ගම මහතාගේ ඉල්ලා අස්වීම ලැබී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *